Saturday, August 8, 2009

මෙල්බර්න් ද? සිඩ්නි ද?

සිරිලකේ සිට ඔසී රටට සංක‍්‍රමණය කරන්නට වරම් ලැබූ කාලයේ මා සතුව විකල්ප දෙකක් තිබුනි. එකක් මෙල්බර්නයට පැමිණීමය. දෙවැන්න සිනුවර ට පැමිණීමය. ප‍්‍රධාන නගරය වූ නිසා සිනුවරට හිත ඇදේ. මිතුරන් වැඩි පිරිසක් සිටි නිසා මෙල්බර්නයට සිත ඇදේ. කොහේ යන්නදැයි තීරණය කිරීම උභතයෝකෝටික ප‍්‍රශ්ණයක් විය.

දෙපොලම බලා කියා ගෙන නිසි තීරණයක් ගන්නට සහ ඊටත් වඩා සුතනඹුවන් ට වීසා වරම් ගන්නට මහ කොමසාරිස් කන්තෝරුව විසින් ඇති කරවන ලද අවශ්‍යතාවය නිසා මා ටික දිනකට යැයි සිතා මුලින් ම මෙල්බර්නයට ගොඩ බැස්සෙමි. නොසිතූ ලෙස කොන්තරාත්තුවක පැටලීම නිසා වාසනාවකට මෙන් මගේ මෙල්බර්නයේ වාසය සති කිහිපයක් දක්වා දිගු වූ අතර, එනිසා ම අවාසනාවකට මෙන් සිනුවර වාසය දින කිහිපයකට පමණක් සීමා විය.

කෙසේ වෙතත්, ටික දිනකට පසුව, පවුල් පන්සල් පිටින් මා සිරිලක සිට මෙල්බර්නයට සංක‍්‍රමණය වූයේ යහළු මිත‍්‍රාදීන් වැඩි සාන්ද්‍රණයක් එහි සිටි නිසා යැයි කීම නිවරදි වේ. එනිසාම, වසර හයක් මෙල්බර්නයේ වාසයෙන් පසු, සිනුවර බලා දේශීය වූ සංක‍්‍රමණයක් කිරීමට හිත හදා ගැනීම පෙර දිනක ක්‍ෂිතිජය තරණය කිරීමටත් වඩා අසීරු එකක් විය.

මා මෙල්බර්නයේ කාලය ගත කරන අතර, සිනුවර ගැන ද, සිනුවර වාසී සිංහලයන් ගැන ද ලැබුනේ එතරම් ප‍්‍රසාදය උපදවන ආරංචි නොවේ. සිනුවරු, අධික වූ නිවාස උගස් ණය බරින් පීඩිත බවත්, එනිසාම, මෙල්බර්නයේ සගයන් සමග දුරකතන බිල් ගෙවමින් සම්බන්ධතා පවත්වනවා තියා, සිනුවරුන් අතර වත් දැඩි මිතුදම්, සාද, පි‍්‍රය සම්භාෂණ නැති තරම් බවත් පතල වී තිබුනි. මෙල්බර්න් මිතුරන් පිරිසක් සිනුවර බැලීමට පැමිණි සඳ, පැරණි ප‍්‍රාණපි‍්‍රය සිනුවර මිතුරෙකු ඔවුන්ව අතේ පැලවෙන බොරු කියා ඔවුන්ව මග හැරීම, ඉහත කී සිනුවර සහ සිනුවරුන් පිළිබඳ අපේ ඌණ ප‍්‍රසාදය කිසිසේත්ම මගහරවන හේතුකාරකයක් නම් නොවීය.

කෙසේ වෙතත් දෛවෝපගතව මා අද සිනුවර වසමි. සිනුවර ට ඇළුම් කරමි. සිනුවර ට ම කඹුරමි. සිනුවරෙකු වී ඇත්තෙමි. සිනුවරෙන් අභිනිෂ්ක‍්‍රමණය කරන්නට හිතක් නැත්තෙමි.

අද එසේ වුවද, වසර හතකට ඉහත මෙල්බර්නයේ සිට සිනුවර බලා අභ්‍යන්තර සංක‍්‍රමණය කළ කාලයේ මගේ චෛතසිකය එසේ නොවීය.

මා සිනුවර වසන්නට ගිවිසුම් අත්සන් කර මෙහි ගොඩ බැස්සේ හරියටම 2001 නොවැම්බරයේ දී ය. මින් පෙර දෙවතාවක දින කිහිපයක් බැගින් විවේකය ගත කර තිබුනද, සිනුවර ගැන මා දැනුම අල්ප විය. එනිසාම, මුල් වරට සාප්පු ගිය දා මට රිය නැවතුමේ ස්ථානයක් සොයා ගැනීමට අඩ හෝරාවක් ගත වුනි. චැඞ්ස්ටනයේ සුවිසල් සාප්පු සංඛීර්ණයේ මා ලද අත්දැකීම් හිරු දුටු කදෝ පැණියෙකු සේ මිලානව ගියේය.

පසුදා සේවයට යාමට මගට බට මා පටු මාවත් වල සෙමින් ඇදෙන මෝටර් රථ ඕඝ දහරේ පැය ගණනක් පාවෙමින් ලතවෙන තවත් එක් මාතලී පුත‍්‍රයෙක් බවට පත් වීමී. පෙර දින මා නිදහස් මහා මාර්ගයේ නැගෙනහිර දෙස සිට එක පිම්මේ විත් මෙල්බර්නයේ රාජකීය මගේ පැය පහක් නොමිලයේ ම වාහනය ගාල් කල අයුරු සිහිනයක මතකයක් පමණක් විය.

මේ සුවිසල් සිනුවර මා එක් ක්‍ෂුද්‍ර ජීවියෙක් පමණක් බව මට සැනෙන් පසක් විය.

ඒ කෙසේ වෙතත්, සමහර විටක ඒ නිසාම, කල් යත්ම මා සිනුවරට ඇළුම් කරන්නට පටන් ගත්තෙමි. අධික උගස් ණය බර, මාර්ග තදබදය අද මට හොඳින් හුරුය. ස්කන්ධයෙන් හෝ වෙනත් මානයන්ගෙන් කෙසේ වෙතත්, අනුපාතයෙන් එක හා සමාන වූ හේතු නිසාම, කන්ද උඩරට මහනුවර සිට කොළොම් තොට ට පැමිණෙන්නෙකු ද මුලින් මෙවැනි අපේක්‍ෂා භංගත්වයකටත්, දෙවනුව මෙවැනිම වූ චෛතසික පරිවර්තනයකටත් පත්වෙන්නට හොඳටෝම ඉඩ ඇත.

පර්ත් ගම්මානයේ සිටින මිතුරෙකුට සිනුවර සිරි වනමින් මා ලියූ කවි පෙලක අවසාන කවෙන් අද මේ කොලම අවසන් කිරීම සුදුසුයැයි සිතමි.

නුවර පර්ත් සිට නුඹ දුක් විඳින්නේ
කවර පවින් දෝ මා නම් නොදන්නේ
පවර සිනුවරේ පුර සඳ දිලෙන්නේ
මිතුර පින් කරපු අයටය පෙනෙන්නේ

සිනුවර පිළිබඳ තවත් තොරතුරු රැුගත් ”සිනුවර හසුන” සමග නැවත හමුවෙමු.

සිනුවර ආරච්චිල
sinuwara.arachchila@gmail.com

1 comment:

  1. පර්ත් ද බ්‍රිස්බන් ද?
    පර්ත් හි ආවේනික සෞන්දර්ය විඳින්නට එහි ටික කලක් නතර වී සිටිය යුතුය. ස්වභාවයෙන්ම අසාර, හිස්, පාලු අර්ධ කානතාර භූමි වලට ඇලුම් කරන්නෙකුට පර්ත් නුවර සුර පුරයක් සේ දිස්වෙයි. මා දැනට නැගෙනහිර වෙරළබද ජීවත් වුවත් සිඩ්නි වෙත පැමිණ නැත. නමුත් ඡායාරූප වලින් දැක ඇති සිඩ්නි නගරය හා නගරබදට එතරම් මනාපයක් නැත. නිරන්තරයෙන්ම හද තුල ඇසෙන්නේ බටහිර දෙසින් මාහට නැවත එන ලෙස කැඳවීමකි. හංස ගඟුල මා වශී කර ඇත...

    ReplyDelete