Tuesday, October 27, 2009

සිඩ්නි නුවර සිංහල පන්සල්

වයසට යත් ම අපේ කාර්යක්‍ෂමතාවය අඩුවේ. තව දුරටත් කිරීමට හැකියාව ඇති සෑම දෙයක්ම කළ හැකිවන්නේ තරුණ කාලයේ දී ට වඩා අඩු වේගයකිනි. ඇවිදීම, කතාව, කියවීම, අවබෝධය, ධාරණ ශක්තිය වැනි මෙකී නොකී සියළු දේම ටිකෙන් ටික මන්දගාමී වේ. කරුණු එසේ නමුදු, එක් දෙයක නම් වේගය අඩුවීමක් ඇත්තේ ම නැත. ඒ අන් කිසිවක් නොව කාලය ගත වෙන වේගයයි. ඇත්තටම කියනවා නම් කාලය ගතවීම අපට දැනෙන වේගය යි. එහි වැඩි වීමක් මිස අඩු වීමක් නැත.

අළුත් වසර 2009 එළැඹුනේ අද ඊයේ මෙන් තවමත් දැනුනද, අද අප මේ ඉන්නේ වසරේ අවසානයේ ය. කල් ගතවෙන ඉක්මන! නැවතත් කියනවා නම්, කාලය ඉතා වේගයෙන්, අප තරුණ කාලයේ දී සිදු වූවා ට වඩා ඉතා වැඩි වේගයකින් ගලා යයි. නමුත් මෙහි සැබෑ තේරුම නම්, අප තව තවත් වයසට යන වේගය ද වැඩි වී ඇති බව නොවේ ද?

මා කුඩා කාලයේ දී, මට ඉතා සුවිශේෂී ලෙස වසරක් ලෙස හැඟුණු වසර 2000 වන විට මා වයස අවුරුදු 37 ක ”වයස්ගත” පුද්ගලයෙකු වන බව මෙනෙහි කර මා එදා දුක් වූවා මට තවමත් මතකය. නමුත් එදා වසර 2000 දී තිබූ ”තරුණකම” අද වසර 2009 දී මට නැවත ලබා ගන්නට හැකි නම් එය මහත් භාග්‍යයක් වෙනු ඇත. ලොව අන් සියළු දේ සේම තරුණ මහළු යන්නද සාපේක්‍ෂ අර්ථ දැක්වීමකි.

ඒ කෙසේ වූවද, ටිකෙන් ටික ජීවිතයේ සන්ධ්‍යා භාගයට අප ලංවෙත්ම, සිරුරේ මෙන්ම ජීවීතයේ ද වෙනස් කම් කීපයක් ඇතිවේ. මින් ප‍්‍රධාන වෙනසක් නම් ආගම දහමට සිත නැඹුරු වීමයි. ලෝ වැඩ සඟරාවේ දැක්වෙන පරිදි ”කොතැන උනත් නැත මරු හට බාදා” නිසා, ”අද අද එයි මරු පින් කර ගන්නේ” යැයි සිතමින්, ”තම තම ණැන පමණින් දැන ගත යුතු” ධර්මය ආශ‍්‍රය කරන්නට අප පෙළඹෙමු. නිතර පන්සල් යන්නෙමු. පෝය ට සිල් ගන්නෙමු. භාවනා කරන්නෙමු. මේ කරුණු ගැන සමාන උනන්දුවක් ඇති අය හමුවූ විට නිරතුරු සාකච්ඡුා කරන්නෙමු. සමහර විට භාවනාව පිළිබඳ කෙරෙන මෙවැනි සාකච්ඡුා සඳහා ඇත්තටම භාවනා කරනවාට වඩා වැඩි කාලයක් මිඩංගු කරන්නෙමු. එහි වරදක් නැත. මේ සියළුම දේ වල මූලික අරමුණ චිත්ත සන්තුෂ්ඨිය ම වන බැවිනි.

සිනුවර වෙසෙන ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති බෞද්ධයින් ට ආගමික කටයුතු සඳහා මෙතෙක් ඇත්තේ එකම එක සම්ප‍්‍රදානුකූල ”සිංහල” පන්සලක් පමණි. ඒ සිඞ්නි නගරයෙන් කිලෝ මීටර් 45 ක් පමණ වයඹ දිගින් පිහිටි ස්කෝෆීල්ඞ් හි ලංකාරාමයයි. මීට අමතරව සිනුවරින් කිලෝමීටර 100 ක් පමණ බටහිරින් කටුම්බා ප‍්‍රදේශයේ ද ආරණ්‍ය සේනාසනයක් පිහිටා ඇත.

මා අසා ඇති ඉතිහාසයට අනුව, වසර 1992 දී සිඞ්නි නුවර වාසය කරන ශී‍්‍ර ලාංකික බෞද්ධයින් ගේ ආධාර සහ උපකාර ඇතුව ලංකාරාම විහාරය ලිඞ්කොම්බ් හි කුලී නිවසක ආරම්භ කර, ඒ වසර අවසානයේ දී ඕබන් නගරයට ගෙන ගොස්, පසුව 1997 දී ස්කෝෆීල්ඞ් හි දැන් විහාරය පවත්වාගෙන යන ස්ථානයේ පිහිටුවා ගෙන ඇත. මේ වන විට ලංකාරාමය, චෛත්‍යය, බෝ මළුව, බුදු මැදුර සහ සංඝාවාසය ආදී වූ ප‍්‍රධාන විහාර අංගෝපාංගයන්ගෙන් සමන්විත බෞද්ධ මධ්‍යස්ථානයකි.

ඩොලර් තුන් ලක්‍ෂයකටත් වඩා වැඩි වියදමක් දරා, දිගු කාලයක් තිස්සේ ඉඳිකිරීම් කටයුතු කර ගෙන ගොස්, 2006 නොවැම්බරයේ දී කොත් පළඳවා විවෘත කරන්නට යෙදුණු ලංකාරාම වෛත්‍යය ගැන ද මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු ය. කළුතර බෝධි සෑය සිහිගන්වන මෙම වෛත්‍යයේ සැකිල්ල කුහරාකාර වන අතර සමාධි පිළිමයකින් යුතු බුදු මැදුර පිහිටා ඇත්තේ චෛත්‍යය මධ්‍යයේය. පන්සලේ දී වන්දනා මාන කළ යුත්තේ වෛත්‍යය, බෝධිය, බුදු මැදුර යන අනු පිළිවෙලට නිසා, එය අනුගමනය කරන සැදැහැවතුන් ට චෛත්‍යය මළුවට දෙවරක් පිවිසීමට මෙනිසා වරම් ලැබේ.
සිනුවර තදාසන්න ප‍්‍රදේශ වල වෙසෙන සිංහල බෞද්ධයින් සියළු දෙනාටම ඇත්තේ මේ එකම පන්සල බැවින් පෝය දින වලට පන්සල සැදැහවතුන්ගෙන් පිරී ඉතිරී යයි. දැන් ලංකාරාමයට ඇති ලොකුම අවශ්‍යතාවය දැනට ඇති තාවකාලික ශාලාව වෙනුවට වැඩි පිරිසකට රැුස්විය හැකි ධර්ම ශාලාවකි. ඩොලර් මිලියනයක පමණ වියදමක් ඇස්තමේන්තු ගත ධර්ම ශාලාව ගොඩ නැගීමේ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ දිනවල ඇරඹී ඇත.

සිනුවර තදාසන්නයේ ඇති එකම ”සිංහල” පන්සල වන ලංකාරාමය ගැන කතා කරන විට මට සිහිවන්නේ මෙල්බර්න් නුවර තදාසන්නයේ පිහිටා ඇති ”සිංහල” පන්සල් ප‍්‍රමාණයයි. සිනුවර සගයින් ගේ දැන ගැනීම පිණිස කෙටියෙන් කියතොත්, මා 1995 දී මෙල්බර්න් නගරයට පැමිණෙන විට ඩැංඩිනොං, නෝබල් පාර්ක් සහ ස්පි‍්‍රංවේල් නගරවල ”සිංහල” පන්සල් ඉඳිවී තිබුු අතර මෝල්වන් හි සමහර කාලයන් හි සිංහල හාමුදුරුවන් වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් ද තිබුණි. අනතුරුව යුරෝක් හි පන්සලක් ගොඩ නැගුණු අතර මගේ මතකයට අනුව සිංහල ප‍්‍රජාවේ ව්‍යාප්තිය නිසා පෙර කී පන්සල් දෙකක් කීස්බරෝ සහ බෙරික් ප‍්‍රදේශවලට ගෙන යාමට සැලසුම් කෙරිණි. මීට අමතරව රිංග්වුඞ් හි සිංහල හාමුදුරුනමක් ද මෙහෙණින් වහන්සේ ලා ද වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් බිහිවුණු අතර මා මෙල්බර්න් නුවරින් සිනුවරට සංක‍්‍රමණය වූ 2002 වන විට මෙල්බර්න් හි උතුරු ප‍්‍රදේශයේ ද ”සිංහල” පන්සලක් ගොඩ නැගීමට අදහස් කර තිබුණි. එදා තත්වය අද තව තවත් වැඩි දියුණු වී ඇති බවට සැක නැත.

මේ අනුව බලන කළ මෙල්බර්න් පුරවරය අද ඕස්ටේ‍්‍රලියාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රස්ථානයයි. සිනුවර එහි අහලක වත් නැත.

පන්සල් ගණන වැඩිවත්ම, ඒ අනුපාතයටම නොවුනත්, ප‍්‍රජාවේ ආගමික හැදියාව වැඩිවේ. එය නිසැකවම හොඳ දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එකම ප‍්‍රශ්ණය නම් සම්පත් බෙදී යාමයි. එයද කෙටි කාලීන ප‍්‍රශ්ණයක් පමණකි.

සිනුවර තදාසන්නයේ තවත් ”සිංහල” පන්සල් බිහි වේවා යැයි සාසනාලයෙන් යුතුව පතමි.