Monday, July 27, 2009

ක්‍ෂිතිජය තරණය - Migration

තමන් ඉපදුණු රට අත හැර, ක්‍ෂිතිජය තරණය කොට, නුහුරු නුපුරුදු දේශයක අළුතින් ජීවිතයක් ගත කිරීමට ගන්නා වූ තීරණය ඉතා අසීරු, අවදානම් සහිත සහ එනිසාම ඉතාමත් එඩිතර වූ එකක් වේ.

ලිඛිත සහ පරම්පරාගත ඉතිහාසය අනුව සිංහල අපි සියළු දෙනා කෙදිනක හෝ ක්‍ෂිතිජය තරණය කළවුන් ට නෑකම් කියන්නෝ වෙමු. වසර දෙදහස් පන්සිය පනහකට පමණ පෙර දිනක සිදු වූවා යැයි සැලකෙන විජයාගමනයෙන් සහ ඉන් පෙර හා පසු මෑත අතීතය දක්වා ම විවිධ කාල වකවානුවල, විවිධාකාරයෙන් ක්‍ෂිතිජය තරණය කළ අපේ මුතුන් මිත්තන්ගෙන් පැවතෙන පිරිසෙන් අද සිංහල යැයි හැඳින්වෙන අප ජන කොටස සෑදී ඇත.

සිංහල බස දොඩන්නෝ, සිංහල බස ලියන්නෝ, සිංහල බස අසන්නෝ, සිංහල බසෙන් සන්නිවේදනය කරන්නෝ, සිංහල සංස්කෘතියේ හරය මත තම ජීවිතය ගෙවන්නෝ සිංහලයෝ වෙති.

විවිධ කාල වකවානුවල ක්‍ෂිතිජය තරණය කර ලක්දිවට පැමිණියෝ මේ ආකාරයේ අනුවර්තනයකින් සිංහලයන් වූ බව නොරහසකි.

මෙලෙසින්ම ක්‍ෂිතිජය තරණය කිරීමේ තීරණය ගෙන අද ඕස්ටේ‍්‍රලියාවේ විවිධ නගරවල ජීවත්වෙන බාල, තරුණ, වැඩිහිටි සිංහල පිරිස බොහෝ ය. මෙය එක් දිනයකින් ඇතිවූ තත්වයක් නොවේ. දශක දෙකක පමණ කාලයක් තිස්සේ පැවති සංක‍්‍රමණ කි‍්‍රයාදාමයක ප‍්‍රතිඵලයකි.

ක‍්‍රම ක‍්‍රමයෙන් සිංහල පිරිස වැඩිවී අද මෙල්බර්න් සහ සිඞ්නි වැනි නගර වල ලාංකික කඩ හරහා, ලාංකික බොදුන් හල් හරහා, සිංහල බුද්ධාගමේ පන්සල් හරහා, සන්නස වැනි පුවත්පත් හරහා, සති අන්තවල පැවැත්වෙන කලා සංදර්ශන දර්ශන හරහා, සිංහල උප සංස්කෘතියක් ඇතිවෙමින් පවතී.

මගේ මුල් සටහනේ මා සඳහන් කළාක් මෙන් අද සිනුවර නිරතුරුවම සිංහල කලා කටයුතු සිදු කෙරේ. නමුත් මින් දශක දෙකකට පමණ පෙර කාලය මෙයට හාත්පසින්ම වෙනස් එකක්ව තිබී ඇත.

සිනුවර වෙසෙන වියතෙකු වන ආචාර්ය දොන් උබයසිරි වික‍්‍රම වරෙක ලියා සඳහන් කළ පරිදි 1990 පමණ වූ මෑත කාලය ද සිංහලයන් දෙදෙනෙක් අතරමග දී හමු වූ විටෙක සිංහලෙන් එකිනෙකා ඇමතීම මදිකමක් යයි සිතූ සමයෙක් විය. මෙල්බර්න් නුවරට පැමිණෙන වික්ටර් රත්නායක ගේ "ස" ප‍්‍රසංගය සිනුවර සංවිධානය කිරීමට හැකිකමක් සහ අවශ්‍යතාවයක් තිබූ සිංහල සංවිධානයක් එවකට මෙහි නාමිකව හෝ නොතිබුනි. මේ අඩුව පුරවා ගෙන සිනුවරට ශ‍්‍රීි ලංකාවෙන් පැමිණ සිටි සිංහල සම්භවයකින් යුත් අපේ අයට අපේකම යන සංකල්පය හඳුන්වා දී, ඔවුන් තුල එය පෝෂණය කොට වර්ධනය කිරීමේ අවංක චේතනාවෙන්, සිංහල සංස්කෘතික සාරධර්මයනට හිතැති පිරිසක් එකතුව 1990 දී සිංහල සංස්කෘතික හමුව පිහිටවූහ.
සිංහල සංස්කෘතික හමුවේ ආරම්භක සභාපතිවරයා වූ යේ පසුකලෙක අන්තර්ජාතික සම්මාන ලබා කීර්තියට පත් සිනමාකරු සෝමරත්න දිසානායකය.

විවිධත්වය තුල ඒකීයත්වය (යුනිටි ඉන්ඩයිවර්සිටි) යන ඕස්ටෙ‍්‍රලියානු බහු සංස්කෘතික සංකල්පයට අනුව යමින්, නිව් සවුත් වේල්සයේ ජීවත්වන, සිංහල සම්භවයකින් යුතු හෝ සිංහල හැදියාව අගයන හෝ බාල-යොවුන්-තරුණ-වැඩිහිටි පරපුරට සිංහල සංස්කෘතික ලක්ෂණ හඳුන්වාදීමට විවිධ වැඩ සටහන් සංවිධානය කොට, අප ප‍්‍රජාවේ පිරිස අතර අපේකම අවදිකරලීමට සිංහල සංස්කෘතික හමුව ප‍්‍රතිඥා දී ඇප කැප වූහ.

සිංහල භාෂා පාසැල් පවත්වමින්, සිංහල සංස්කෘතික සංදර්ශන වේදිකා ගත කරමින්, සිංහල සාහිත්‍යමය නිර්මාණ එළි දක්වමින්, සිංහල සංස්කෘතික හමුව අද ද එම කාර්ය භාරය කරගෙන යති.

පසුගිය 2008 සැප්තැම්බර් මාසය තුල සෝමරත්න දිසානායක ගේ ”සිරි රජ සිරි” සිනමා සිත්තමත්, සංස්කෘතික හමුවේ ජීව නාලිය වන සිංහල පාසැල් සිසු දරු දැරියන් ගේ ද්වි වාර්ෂික ”මල් කැකුළු” විවිධ ප‍්‍රසංගයත් නැරඹීමට ලැබීම සිනුවර ආරච්චිල ලැබූ නෙත් තෙත් කරවන අත්දැකීම් දෙකක් විය.

සුන්දර රිවි දිනයේ, පින්බර හිමිදිරියේ සිංහල උගෙනට පැරමටා, මින්ටෝ සහ බ්ලැක්ටවුන් සිංහල පාසැල් වෙතට යන අපේ පෙම්බර දූ දරුවන් උදෑසන පිපුණු මල් කැකුළු වැනිය. මාපිය සිත් සනසමින්, ගුරු උපදෙස් පිළිපදිමින්, ඔව්හු සිංහල බස ලියති. සිංහල බස දොඩති. සිංහල බස උගනිති. සිංහල කම රකිති.

ඒ පිපුණු මල් කැකුළු සුවඳ දසත විහිදේවා!

සිනුවර තොරතුරු රැුගත් ”සිනුවර හසුන” සමග නැවත හමුවෙමු.

No comments:

Post a Comment