Monday, July 27, 2009

ක්‍ෂිතිජය තරණය - Migration

තමන් ඉපදුණු රට අත හැර, ක්‍ෂිතිජය තරණය කොට, නුහුරු නුපුරුදු දේශයක අළුතින් ජීවිතයක් ගත කිරීමට ගන්නා වූ තීරණය ඉතා අසීරු, අවදානම් සහිත සහ එනිසාම ඉතාමත් එඩිතර වූ එකක් වේ.

ලිඛිත සහ පරම්පරාගත ඉතිහාසය අනුව සිංහල අපි සියළු දෙනා කෙදිනක හෝ ක්‍ෂිතිජය තරණය කළවුන් ට නෑකම් කියන්නෝ වෙමු. වසර දෙදහස් පන්සිය පනහකට පමණ පෙර දිනක සිදු වූවා යැයි සැලකෙන විජයාගමනයෙන් සහ ඉන් පෙර හා පසු මෑත අතීතය දක්වා ම විවිධ කාල වකවානුවල, විවිධාකාරයෙන් ක්‍ෂිතිජය තරණය කළ අපේ මුතුන් මිත්තන්ගෙන් පැවතෙන පිරිසෙන් අද සිංහල යැයි හැඳින්වෙන අප ජන කොටස සෑදී ඇත.

සිංහල බස දොඩන්නෝ, සිංහල බස ලියන්නෝ, සිංහල බස අසන්නෝ, සිංහල බසෙන් සන්නිවේදනය කරන්නෝ, සිංහල සංස්කෘතියේ හරය මත තම ජීවිතය ගෙවන්නෝ සිංහලයෝ වෙති.

විවිධ කාල වකවානුවල ක්‍ෂිතිජය තරණය කර ලක්දිවට පැමිණියෝ මේ ආකාරයේ අනුවර්තනයකින් සිංහලයන් වූ බව නොරහසකි.

මෙලෙසින්ම ක්‍ෂිතිජය තරණය කිරීමේ තීරණය ගෙන අද ඕස්ටේ‍්‍රලියාවේ විවිධ නගරවල ජීවත්වෙන බාල, තරුණ, වැඩිහිටි සිංහල පිරිස බොහෝ ය. මෙය එක් දිනයකින් ඇතිවූ තත්වයක් නොවේ. දශක දෙකක පමණ කාලයක් තිස්සේ පැවති සංක‍්‍රමණ කි‍්‍රයාදාමයක ප‍්‍රතිඵලයකි.

ක‍්‍රම ක‍්‍රමයෙන් සිංහල පිරිස වැඩිවී අද මෙල්බර්න් සහ සිඞ්නි වැනි නගර වල ලාංකික කඩ හරහා, ලාංකික බොදුන් හල් හරහා, සිංහල බුද්ධාගමේ පන්සල් හරහා, සන්නස වැනි පුවත්පත් හරහා, සති අන්තවල පැවැත්වෙන කලා සංදර්ශන දර්ශන හරහා, සිංහල උප සංස්කෘතියක් ඇතිවෙමින් පවතී.

මගේ මුල් සටහනේ මා සඳහන් කළාක් මෙන් අද සිනුවර නිරතුරුවම සිංහල කලා කටයුතු සිදු කෙරේ. නමුත් මින් දශක දෙකකට පමණ පෙර කාලය මෙයට හාත්පසින්ම වෙනස් එකක්ව තිබී ඇත.

සිනුවර වෙසෙන වියතෙකු වන ආචාර්ය දොන් උබයසිරි වික‍්‍රම වරෙක ලියා සඳහන් කළ පරිදි 1990 පමණ වූ මෑත කාලය ද සිංහලයන් දෙදෙනෙක් අතරමග දී හමු වූ විටෙක සිංහලෙන් එකිනෙකා ඇමතීම මදිකමක් යයි සිතූ සමයෙක් විය. මෙල්බර්න් නුවරට පැමිණෙන වික්ටර් රත්නායක ගේ "ස" ප‍්‍රසංගය සිනුවර සංවිධානය කිරීමට හැකිකමක් සහ අවශ්‍යතාවයක් තිබූ සිංහල සංවිධානයක් එවකට මෙහි නාමිකව හෝ නොතිබුනි. මේ අඩුව පුරවා ගෙන සිනුවරට ශ‍්‍රීි ලංකාවෙන් පැමිණ සිටි සිංහල සම්භවයකින් යුත් අපේ අයට අපේකම යන සංකල්පය හඳුන්වා දී, ඔවුන් තුල එය පෝෂණය කොට වර්ධනය කිරීමේ අවංක චේතනාවෙන්, සිංහල සංස්කෘතික සාරධර්මයනට හිතැති පිරිසක් එකතුව 1990 දී සිංහල සංස්කෘතික හමුව පිහිටවූහ.
සිංහල සංස්කෘතික හමුවේ ආරම්භක සභාපතිවරයා වූ යේ පසුකලෙක අන්තර්ජාතික සම්මාන ලබා කීර්තියට පත් සිනමාකරු සෝමරත්න දිසානායකය.

විවිධත්වය තුල ඒකීයත්වය (යුනිටි ඉන්ඩයිවර්සිටි) යන ඕස්ටෙ‍්‍රලියානු බහු සංස්කෘතික සංකල්පයට අනුව යමින්, නිව් සවුත් වේල්සයේ ජීවත්වන, සිංහල සම්භවයකින් යුතු හෝ සිංහල හැදියාව අගයන හෝ බාල-යොවුන්-තරුණ-වැඩිහිටි පරපුරට සිංහල සංස්කෘතික ලක්ෂණ හඳුන්වාදීමට විවිධ වැඩ සටහන් සංවිධානය කොට, අප ප‍්‍රජාවේ පිරිස අතර අපේකම අවදිකරලීමට සිංහල සංස්කෘතික හමුව ප‍්‍රතිඥා දී ඇප කැප වූහ.

සිංහල භාෂා පාසැල් පවත්වමින්, සිංහල සංස්කෘතික සංදර්ශන වේදිකා ගත කරමින්, සිංහල සාහිත්‍යමය නිර්මාණ එළි දක්වමින්, සිංහල සංස්කෘතික හමුව අද ද එම කාර්ය භාරය කරගෙන යති.

පසුගිය 2008 සැප්තැම්බර් මාසය තුල සෝමරත්න දිසානායක ගේ ”සිරි රජ සිරි” සිනමා සිත්තමත්, සංස්කෘතික හමුවේ ජීව නාලිය වන සිංහල පාසැල් සිසු දරු දැරියන් ගේ ද්වි වාර්ෂික ”මල් කැකුළු” විවිධ ප‍්‍රසංගයත් නැරඹීමට ලැබීම සිනුවර ආරච්චිල ලැබූ නෙත් තෙත් කරවන අත්දැකීම් දෙකක් විය.

සුන්දර රිවි දිනයේ, පින්බර හිමිදිරියේ සිංහල උගෙනට පැරමටා, මින්ටෝ සහ බ්ලැක්ටවුන් සිංහල පාසැල් වෙතට යන අපේ පෙම්බර දූ දරුවන් උදෑසන පිපුණු මල් කැකුළු වැනිය. මාපිය සිත් සනසමින්, ගුරු උපදෙස් පිළිපදිමින්, ඔව්හු සිංහල බස ලියති. සිංහල බස දොඩති. සිංහල බස උගනිති. සිංහල කම රකිති.

ඒ පිපුණු මල් කැකුළු සුවඳ දසත විහිදේවා!

සිනුවර තොරතුරු රැුගත් ”සිනුවර හසුන” සමග නැවත හමුවෙමු.

Wednesday, July 22, 2009

සිඩ්නි සිට ලියමි

සිඩ්නි නුවර ඕස්ටේ‍්‍රලියාවේ පැරණිම නගරය මෙන්ම, ප‍්‍රමාණයෙන් විශාලතම, වැඩිම ජනගහනයක් වෙසෙන සහ වඩාත්ම වියදම්කාරී නගරය ද වේ. දැනට සාර්ථක අටවෙනි වසරේ සිඞ්නි තදාසන්නයේ වාසය කරන මට, මේ සුවිසල් නගරය හා ඇති එක ප‍්‍රශ්ණයක් නම් සිඞ්නි යන නාමය කවි පදයක යෙදිය හැකි ආකාරයේ මටසිළුටු එකක් නොවීමයි. එලිවැට සඳහා සිඩ්නි නාමය යොදා ගැනීම නම් හුදෙක් සිහිනයක් ම පමණි. මේ ප‍්‍රශ්ණයට සාර්ථක විසඳුමක් ලබා දුන්නේ ඕස්ටේ‍්‍රලියාවේ සිට ශී‍්‍ර ලංකාවට සමනලයෙකු මගින් යැවෙන සංදේශ කාව්‍යයක් ”සමනල දූතය” නමින් රචනා කළ සිඩ්නි වාසී හෙන්රි කුමාරප්පෙරුම කවියා ය. ඔහු සිඩ්නි නුවර සිනුවර නමින් සිය පද්‍ය නිර්මාණයන් හි දී හඳුන්වයි. මගේ මේ ගද්‍ය තීරු ලිපිය සඳහා ද ඒ නම යොදා ගැනීමට මම අදහස් කරමි.

මෙල්බර්න් හා සසඳන විට සිනුවර සිටින්නේ තරමක් ප‍්‍රමාණාත්මකව අඩු සිංහල ජන කොටසකි. ලංකාවේ සිට ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය කරන අති මහත් බහුතර ජනතාව අනිවාර්්‍යයෙන් ම පැමිණෙන්නේ කවුරුන් හෝ තමන් දන්නා අඳුනන කෙනෙක් සිටින නගරයට නිසා දිගින් දිගටම මේ ජනගහන පරතරය වැඩි වෙයි. මේ න්‍යාය අනුගමනය නොකළ අය මා දන්නේ දෙදෙනෙකු පමණි. මින් පලමුවැන්නා ලංකාවේ දී අඩුම සංක‍්‍රමණිකයින් ප‍්‍රමාණයක් පැමිණෙන නගරය සොයා බලා හෝබාර්ට් නගරයට සංක‍්‍රමණය කළේ එම ආර්ථික අවගමන සමයේ රැුකියාවක් සොයා ගැනීම පහසු වෙතැයි සිතාය. වසර කිහිපයකට පසුව ඔහු ආපසු ලංකාවට ගියේය. දෙවැන්නා සංක‍්‍රමණිකයින් ට සති හතරක් නොමිලයේ නිවාස සහ වෙනත් පහසුකම් දෙන බව අසා ඇඩිලේඞ් නුවරට සම්ප‍්‍රාප්ත විය. ඔහු දැන් සිය පවුල ද සමග සිනුවර වසයි.

මෙල්බර්න් නුවර සිංහල ජනගහනය වැඩිවීමත් සමගම, එය ක‍්‍රම ක‍්‍රමයෙන් ඕස්ටේ‍්‍රලියානු සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනු පසුගිය වසර හත තුල දී මම දුටුවෙමි. සන්නස වැනි මාසික පුවත් සඟරා මෙල්බර්න් හි ප‍්‍රකාශනය වේ. සිනමා සිත්තම්, වේදිකා නාට්‍ය, නර්තන, රංගන ප‍්‍රසංග මෙල්බර්න් හි නිපදවේ. අද සිංහල සිනමා සිත්තමක් සිනුවර එක් දර්ශනයක් පැවැත්වෙන විට, එය මෙල්බර්න් හි තුන් හතර වරක් දර්ශනය කිරීම සාමාන්‍ය සිදුවීමකි.

කරුණු එසේ වූවද, සිනුවර වසන අප සිටින්නේ ද වැඩි පසුපසින් නොවේ.

මෙහි ප‍්‍රමුඛ සිංහල සංස්කෘතික සංවිධානය වන සිංහල සංස්කෘතික හමුව පිහිටුවා දැන් වසර දහ අටකි. ඔවුන් ප‍්‍රකාශනය කරන ත්‍රෛමාසික සිංහල සාහිත්‍ය සඟරාවට දැන් වසර අටක් පිරී ඇත.

මීට අමතරව සිනුවර ද සිනමා සිත්තම්, නාට්‍ය සහ නර්තන රංගන යනාදිය නිපදවේ. පසුගිය 2008 අගෝස්තු මාසයේ දී සිනුවර වෙසන නාට්‍යකරු චම්ප බුද්ධිපාල ගේ දැවැන්ත නිර්මාණයක් වූ දස්කොන් වේදිකා නාට්‍යය ශී‍්‍ර ලංකාවේ සිට පැමිණි නළු නිලියන් ගේ ද, සිනුවර නළු නිලියන් සහ නර්තන ශිල්පීන්ගේ ද දායකත්වයෙන් වේදිකාගත විය. ශී‍්‍ර ලංකාවේ දී මනමේ ඇතුළු සම්භාව්‍ය වේදිකා නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් සහ ගායනයෙන් දායක වී ඇති චම්ප බුද්ධිපාල මීට පෙර 2003 දී කි‍්‍රෂ්ණා වේදිකා නාට්‍යය ලියා නිෂ්පාදනය කළේ ද සිනුවර දී ය.

ජූනි (2009) මාසයේ මෙහි රඟ දැක්වුනේ නිමල් රෝහිත වණිගසිංහ ලියා අධ්‍යක්‍ෂණය කළ ප‍්‍රතිමාවක් හෙලූ කඳුලක් වේදිකා නාට්‍යයයි. ශී‍්‍ර ලංකාවේ දී සම්මාන පෝලිම සහ ලූ වැනි වේදිකා නාට්‍ය ලියා අධ්‍යක්‍ෂණය කළ නිමල් 2006 දී පිනා සහ වලං කද ගීතමය නාට්‍යය සිනුවර දී නිපදවීය.

සිනුවර වෙසෙන ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂකවරුන් දෙදෙනෙකි. සිසිල් ෆොන්සේකා නිෂ්පාදනය කළ එතෙර බැඳි සෙනෙහස (2005) සහ පරම්පරා (2008) ටෙලි වෘත්තාන්ත ලංකාවේ ඉතා ජනපි‍්‍රය විය. එසේ ම ජනපි‍්‍රය වූ නොපෙනෙන අනන්තය (2006) චාලක ජයසිංහ ගේ ප‍්‍රථම ටෙලි නාටකයයි. චාලක ගේ දෙවන නිර්මාණය ද මේ දිනවල ප‍්‍රදර්ශණයට සැරසෙන බව සැලයි.

ලේඛණ කලාව අතින් සිනුවර පොබයන ගත්කරුවෝ කිහිප දෙනෙකි. සමන් මහානාම දිසානායක ඒ අතරින් ප‍්‍රමුඛයාය. ඔහු බඹරැුන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, රන්දෙණිගල වලව්ව, දුරුතු සිහින, පුංචි සර් සහ ලන්සි කෙල්ල නමින් නවකතා කිහිපයක් ම ලියා ඇත.

ලේඛකයෙකු මෙන්ම කවියෙකු ද වන පාලිත ගනේවත්ත, ඇසි පිය සහ බොඳවූ සිතුවිලි කාව්‍ය සංග‍්‍රහ ද, ලේ හුරු සුවඳ කෙටිකතා සංග‍්‍රහය ද, ඇවිත් නොරටක නවකතාව ද, ඇන්ටන් චෙකෝෆ් ගේ කෙටිකතා පරිවර්තන එකතුවක් ද ප‍්‍රකාශයට පත්කර ඇත.

සිනුවර රස තොරතුරු රැගත් – සිනුවර හසුන – සමග නැවත හමුවෙමු.

සිනුවර හසුන – From Sydney I Write

සිනුවර හසුන – From Sydney I Write

දකුණු කුරු දිවයින හෙවත් ඔසී රට, සිනුවර හෙවත් සිඩ්නි පුරයේ වෙසෙමි.

සිනුවර හසුන තුලින් සිඩ්නි තොරතුරු ඔබට ගෙනෙන්නට අදහස් කරමි.

ඊ-මේල් එකක් එවන්නඃ sinuwara.arachchila@gmail.com