Saturday, November 28, 2009

සිඩ්නි නුවර පැවැත්වුනු "බක් මහ රංගන" කලා මංගල්‍යය

සිනුවර (Sydney, Australia) මහා සිංහල කලා මංගල්‍යය ලෙස නොබියව හැඳින්විය හැකි බක් මහ රංගන ප‍්‍රසංගය පසුගිය 2009 මැයි මස දෙවෙනි සෙනසුරාදා රාති‍්‍රයේ "කාසල් හිල්" හි "හිල්ස් රඟහලේ" දී අති උත්කර්ෂවත් අයුරෙන් පැවැත්විණි.

මෙවර 2009 වසරේ දී මෙම ප‍්‍රසංගය වේදිකා ගත වුනේ සාර්ථක හත්වෙනි වරටයි. බක් මහ රංගන ප‍්‍රසංගය සඳහා ඕස්ටේ‍්‍රලියාවේ ශී‍්‍ර ලංකා තානාපති සේනක වල්ගම්පාය ගේ සහ සිනුවර ශී‍්‍ර ලංකා කොන්සල් ගෝතමී ඉඳිකඩහේන ගේ සහභාගීත්වයට අමතරව නිව් සවුත් වේල්ස ප‍්‍රාන්තයේ ප‍්‍රධානී (පි‍්‍රමියර්) නේතන් රීස් ද, ව්‍යවස්ථාදායක සභාවේ සභාපති පීටර් පි‍්‍රම්රොස් ද සහභාගී වීම මෙම ප‍්‍රසංගයේ සමාජයික වැදගත්කම පිළිබඳ හොඳ සාක්‍ෂියක් විය.

ශී‍්‍ර ලංකාවේ වසන්ත සමයේ ප‍්‍රතිරාවයක් සිනුවර නංවන සවිඥාණක අරමුණින් යුතුව දෝ මෙවර බක් මහ රංගන ප‍්‍රසංගය වසත් රාව යනුවෙන් නම් කර ඇති බව මම පසුගිය සිනුවර හසුනක ලියූවෙමි. මෙවැනි ප‍්‍රසංගයක් අපේ රස විඳීම පිණිස වේදිකාවට නැංවීම ලේසි පාසු කටයුත්තක් නොවේ. සවස 6:30 සිට රාතී‍්‍ර 11:00 දක්වා පැවැත්වුනු මේ සුවිසාල කර්තව්‍යය පසුපස සිටි ප‍්‍රසාංගික අංග නිෂ්පාදක කලාකරුවන්, රංග ශිල්පීන්, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ සංවිධායකයින් යනාදී පිරිස ඉතා විශාලය. ඒ සියළු දෙනාටම සිනුවර ආරච්චිල ගේ නොවක් ස්තුතිය හිමිවේ.

මේ බක් මහ රංගන 2009 වසත් රාව ප‍්‍රසංගය පිළිබඳ විමර්ෂණාත්මක විග‍්‍රහයකි.

රංගන, නර්තන ආදී කලා නිර්මාණයක් කිරීම පහසු දෙයක් නොවේ. එසේම, ගීතයක් වැනි කලා නිර්මාණයක් වේදිකාවක් මත දී ගැයීම හෙවත් ප‍්‍රතිනිර්මාණය කිරීම ද පහසු දෙයක් නොවේ. ඒ සඳහා නිසි ප‍්‍රමාණයේ කුසලතාවයක් තිබිය යුතුය. එසේම අවශ්‍ය තරම් උනන්දුවක් ද තිබිය යුතුය. ඉන් එකක් පමණක් නිසි පරිදි තිබීම හොඳ නිර්මාණයකට හෝ හොද ප‍්‍රතිනිර්මාණයකට මග පෙන්වන්නේ නැත.

විස්තරාත්මකව කියනවා නම් හොඳ කුසලතාවයක් තිබුනද නිසි උනන්දුවක් නැති නම් හොඳ නිර්මාණයක් බිහි නොවේ. එසේම, කොතරම් දැඩි උනන්දුවක් තිබුනද මනා කුසලාවයක් නොමැතිනම් හොඳ නිර්මාණයක් බිහි කිරීම අපහසුය.

ඒ කරුණු එසේ වූවද, ඕනෑම විශිෂ්ඨ කලා නිර්මාණයක් නිර්දය ලෙස විවේචනය කිරීම නම් ලේසි කටයුත්තක් බවද කලින්ම කිව යුතුය. විවේචනය හෝ විචාරය සැමවිටම විචාරකයාගේ චින්තන රාමුවට සාපේක්‍ෂ වීම මෙයට හේතුවයි.

දිගු කලකට පෙර ශී‍්‍ර ලංකාවේ රැුව් දුන් ”දෙඤ්ඤං බැටේ” විචාරය මෙහිදී මගේ සිහියට එයි. නිර්දය විවේචනයක් සඳහා අවශ්‍යවන්නේ ඒ පැත්තේ හෝ මේ පැත්තේ එක් පසෙක අන්තයටම ගොස් එහි සිට කලා කෘතිය දෙස බැලීමයි.

මම ද එක්තරා දුරකට අන්තයක සිටිමි. හැබැයි, ඒ හොඳ පැත්තේය. හරි පැත්තේය. වැරදි පැත්තේ නොවේ!

තුන් සියයක පමණ පිරිසක් නර්තනයෙන්, රංගනයෙන්, ගායනයෙන්, වාදනයෙන්, නිර්මාණයෙන්, සංවිධානයෙන් සහභාගී වන, දහසකට වැඩි පිරිසක් එක්වී නරඹන, බක් මහ රංගනය මා දකින්නේ, අද භාෂාවෙන් කියනවා නම්, උත්තේජක පොදියක් හෙවත් ”ස්ටිම්‍යුලස් පැකේජයක්” ලෙසිනි.

සමස්තයක් වශයෙන් ගත් විට, මෙම පැකේජයෙන් උත්තේජනය ලබන්නේ නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතියයි. බක් මහ රංගන ප‍්‍රසංගය සඳහා කලා නිර්මාණ ඉදිරිපත් කරන්නට පෙල ගැසෙන පිරිස මෙමගින් තම කුසලතාවයන් ඔප් නංවා ගනිති. තම ශික්‍ෂණය වැඩි දියුණු කර ගනිති. එමගින් නිව් සවුත් වේල්සය තුලත්, පොදුවේ ඕස්ටේ‍්‍රලියාව තුලත් සිංහල සංස්කෘතිය හොඳින් ස්ථාපිත කර ඉදිරියට පවත්වාගෙන යාමේ කර්තව්‍යයට දායක වෙති.

මා මෙහිදී අදහස් කරන්නේ රංගනයෙන්, නර්තනයෙන්, ගායනයෙන්, වාදනයෙන් ප‍්‍රසංගය සඳහා සහභාගී වෙන පිරිස පමණක් නොවේ. ඇඳුම් නිර්මාණය, වේදිකා පසුතල සැකසුම, වේදිකා, ශබ්ද, ආලෝක කලමනාකරනය, ප‍්‍රසංග සංවිධානය කරන පිරිස ද එලෙසම තම ශික්‍ෂණයද, හැකියාවන් ද වැඩි දියුණු කර ගනිති. ඔප් නංවා ගනිති.

එපමණක් නොවේ. මේ සමගම මගේ ඇස්තමේන්තුවේ හැටියට ඩොලර් 500,000 ක පමණ මුදලක් ද මේ ප‍්‍රසංගය මගින් මාස කිහිපයක් තුල දී රටේ ආර්ථිකයට එකතු වේ. මින් වැඩි කොටසක් වැයවන්නේ තම දරුවන් පුහුණු කටයුතු සඳහා රැගෙන යනෙන දෙමව්පියන් ගේ ද, ප‍්‍රසංග සංවිධායකයින් ගේ ද ඉන්ධන වියදම් සඳහාය. රංග වස්ත‍්‍ර නිපදවීමට ද සෑහෙන මුදලක් වැයවේ. රටටම උත්තේජක සපයන "රඞ් බැංකුවට" කෙසේ වුවද, අප වැනි කුඩා කුහුඹුවන්ට නම් මේ මුදල් දහර සුවිසල් ඕඝ ප‍්‍රවාහයකි!

බක් මහ රංගන ප‍්‍රසංගයේ අරමුණ වී ඇත්තේ, එය විය යුතු පරිදිම, හොඳ කලා කුසලතාවයක් සහ ඒ සඳහා නිසි උනන්දුවක් ඇති පිරිසක් පමණක් එකතු කරගෙන අති සුපිරි ප‍්‍රසංගයක් අප වෙත ඉදිරිපත් කිරීම නොවේ. එයට, ඉහල කලා කුසලතාවයන් නොමැති වුවත් හොඳ උනන්දුවක් ඇති පිරිස ද සහභාගී කරවා ගැනීමය. එමගින්, ඒ පිරිස ගේ කලා කුසලතාවයන් තව දුරටත් වර්ධනය කර ගැනීමට ඉඩ සැලසීමය. මෙවර ප‍්‍රසංගයේ තිබූ ඇතැම් දුර්වල නිර්මාණ දෙස මා බලන්නේ එම දෘෂ්ඨියෙනි. ඒ අය ලබන වසරේ මීට වඩා හොඳ නිර්මාණ ඉදිරිපත් කරනු ඇතිය යන්න මගේ බලවත් විශ්වාසයයි.

ඒ සමගම මෙමගින් සිදු වෙතැයි අපේක්‍ෂා කළ හැකි අනෙක් යහපත් ප‍්‍රථිඵලය නම් කලා කුසලතාවය සහ ඒ සඳහා ඇති උනන්දුව ගැන සලකන විට හඳුනා ගත හැකි තුන්වන පිරිස, එනම් හොඳ කලා කුසලතාවයක් ඇති නමුත් නිසි උනන්දුවක් නැති කම නිසා තවමත් නිර්මාණකරණයේ නොයෙදෙන පිරිස බක් මහ රංගන ප‍්‍රසංගය නැරඹීමෙන් පසු නිර්මාණකරණය සඳහා අළුත් උනන්දුවක් ඇති කරගන්නට ඉඩකඩ තිබීමයි.

පසුගිය වසර කිහිපය තුල මෙම ප‍්‍රසංගය තුලින් තම කුසලතා එලි දක්වන්නට ඉදිරිපත් වන පිරිසේ ප‍්‍රමාණාත්මක වැඩි වීමෙන් ඒ බව ඔප්පු වී ඇත.

දැන් ඉතිරිව ඇත්තේ, මා ද ඇතුළු, ප‍්‍රසංග නිර්මාණකරනයට කුසලතාවයක් ද, උනන්දුවක් ද නැති සිව්වන කොටසයි. අප වැන්නන්ට කළ හැක්කේ, අඩු වශයෙන් ප‍්‍රසංගය නැරඹීමෙන් සහ හැකිනම් ඒ ගැන කතිකාවතක නිරත වීමෙන් බක් මහ රංගනයේ සාර්ථකත්වයට සහ එමගින් ඕස්ටේ‍්‍රලියාවේ සිංහල සංස්කෘතියේ ප‍්‍රගමණයට සම්මාදන් වීමයි.

මෙවර සිනුවර හසුනෙන් මා බක් මහ රංගන ප‍්‍රසංගය ගැන කතා කළේ ඒ නිසාය.

සිනුවර ආරච්චිල විසිනි.