Friday, August 21, 2009

සිඩ්නි නගරයේ විස්තර

සිනුවර නම ඇසෙන විටම සිහියට නැගෙන සංකේත ති‍්‍රත්වයක් ඇත. ඒවා නම්, ඔපෙරා මැදුර (Opera House), වරායේ පාලම (Harbour Brdige) සහ තුන් සොහොයුරියන්(Three Sisters) පිරිවරාගත් නිල් කඳුවැටිය (Blue Mountains) වේ.

මේවා සැබවින්ම විස්මිත නිර්මාණයෝ වෙතිය යන්න, සිනුවරුන් ගේ චිත්ත සනාතානයට පමණක් සීමා වූ ස්වයං වින්දනීය අදහසක් නොව, දේශ දේශාන්තරයෙන් මෙහි පැමිණි සංචාරකයින් ද නිරතුරු පවසන්නකි.

"කළු හිල සහ නරාවල" නම් වූ සිය කෙටිකතා එකතුවේ එන "පරතරය" නම් වූ නිර්මාණයේ දී ඕස්ටේ‍්‍රලියානු සිංහල මහ ගත්කරු මෙල්බර්න් වාසී ඞී.බී. කුරුප්පු ද, මේ පිළිබඳ සැබෑ විවරණයක් කරයි. ඔහු ගේ මුද්‍රිත වචන උපුටා දක්වතොත් ඒ මෙසේ ය:

(මෙල්බර්න් වල ඇති ලොකු ලොකු දේ ගැන සිතා) "ඔළුව තඩිස්සි කරගෙන ඔපෙරා හවුස් එක ගාවට ගිහින් සිඞ්නි වරායේ පාළම දිහා බලන කොට නම් තේරෙනවා අපේ යරා ගඟයි, අවට තියෙන කලා කේන්ද්‍රයි මොනවා ද කියලා”!

"කෝට් හැඟර්" හෙවත් කබා කොක්ක යන නමින් පොදු ජනයා හඳුන්වන සිනුවර වරාය පාළම ගොඩ නගා ඇත්තේ මීට වසර හැත්තැ හයකට පෙර, එවකට ඩොලර් මිලියන දහයක වියදමිනි. එතෙක් දෙකඩ වී තිබුනු සිනුවර තදාසන්න උතුරු-දකුණු ගම් පෙදෙස් මේ පාලමෙන් සදාකල් පවතින්නට එක් විණි. මේ අපූරු පාළමේ ඇති සුවිශේෂී වැදගත්කම නම් එය මාර්ග තීරු අටකින් යුතු මහා මාර්ගයක් ද, තීරු දෙකකින් යුතු දුම්රිය මාර්ගයක් ද, පයින් හෝ සයිකලයෙන් යන්නන් වෙනුවෙන් නිමවූ පටු මං දෙකක්ද සහිත අති සුවිශාල එකක් වීමයි. වසර හැත්තෑ පහකට පෙර, ජනගහනයෙන් ඉතා අඩු ප‍්‍රතිශතයකට පමණක් මෝටර් රථ තිබුනු, තවමත් අශ්වයින් පිට මිනිසුන් ගමන් ගත් යුගයක, මෙතරම් සුවිශාල මාර්ගයක් නිර්මාණය කරන්නට තරම්, එවකට සිටි පාලකයෝ දූරදර්ශී වීම සහ නිර්භීත වීම ඇදහිය නොහැකි තරම් ය.

ඔපෙරා මැදුර ඉඳිකර ඇත්තේ මීට වසර තිස් පහකට ඉහත දී ඩොලර් මිලියන සියයක් තරම් වූ අධික වියදමක් දරමිනි. එය අද ප‍්‍රමුඛ ඕස්ටේ‍්‍රලියානු සළකුණ ලෙස ලොවම පතලය. "අර බාගෙට ගිළුණු බෝට්ටු තියෙන්නේ සිඞ්නි වල නේද?" කියා ලංකාවේ කී දෙනෙක් නම් මගෙන් අසා ඇත්ද? ඔපෙරා මැදුර අද සිනුවර මුඛ්‍ය කලාගාරයයි. ඔපෙරා සහ වෙනත් නාටක පමණක් නොව, අග‍්‍ර ගණයේ ගීත සහ සංගීත සංදර්ශන ද එහි නිරතුරු පැවැත්වේ. සිනුවර කලා රසිකයෙකු වන කිත්සිරි කරුණාරත්න විසින් 2006 දී ඔපෙරා මැදුරේ සංවිධානය කරන ලද රෝහණ රන්සර ප‍්‍රසංගය මෙහිදී මා සිහියට නැගේ.

මිනිසුන් විසින් ගොඩ නගන ලද ඉහත කී සංකේත ද්විත්වය හා අසම සම වන තෙවන සිනුවර අරුමය නම් තුන් සොහොයුරියන් පිරිවරාගත් නිල් කඳුවැටිය යි. සිනුවර සිට බටහිර බලා දිවෙන මහා මාර්ගයේ කිලෝ මීටර සියයක් පමණ ගතවෙන හරියේ කටුම්බා උපනගරය ආශි‍්‍රතව මෙම නිල් කඳු වැටි පෙල පිහිටා ඇත. කඳු මත සැදි මහ වනයේ පිරී ඉතිරී ඇති යුකැලිප්ටස් හෙවත් මැලියම් (Gum) වෘක්‍ෂ වල වැදී හිරු එළිය පරාවර්තනය වන්නේ මනරම් නිල් පැහැයකින් වීම නිසා මේ නම ලද බව සාමාන්‍ය පිළිගැනීමයි.

නිල් කඳු පෙදෙසට යන දහස් ගණන් සංචාරක ජනතාව අනිවාර්යයෙන් ම නරඹන දර්ශනයක් නම් තුන් සොහොයුරියන් ය. මේ, එකිනෙක හා යා වී ඇති කුඩා ශෛලමය කඳු ගැටිති තුනකි. කටුම්බා පෙදෙසේ ස්වදේශික ජනප‍්‍රවාදයට අනුව මේ කඳු ගැටිති තුන වනාහී දුරාතීතයේ සිහින සමයේ දිනක මායාකරුවෙකු ගේ ඉන්ද්‍රජාල බලයෙන් ගල් වූ සොහොයුරියන් තිදෙනෙකි.

මිනිසුන් විසින් නිමවන ලද හෝ ස්වභාවික ඕනෑම දෙයක ඇති සුන්දරත්වය යනු නිසැකවම සාපේක්‍ෂ දෙයකි. ඔපෙරා මැදුර සහ වරාය පාලම හුදෙක් ගල් සහ යකඩ ගොඩවල් ලෙස යමෙකුට පෙනිය හැක. ඩොලර මිලියන ගණන් වටිනා පිකාසෝ ගේ චිත‍්‍රයක් විකෘති බලි රූපයක් ලෙස දකින අය ද නැතුවා නොවේ. මෙලෙසම, ස්වාභාවික සෞන්දර්්‍යයේ අසිරිය ද, එය දකින ඇසෙන් ඇසට වෙනස් වේ.

මගේ සිහියට නැගෙන එක්තරා විනෝදාත්මක සිදුවීමක් ඔබට පවසමින් මෙවර සිනුවර හසුන අවසන් කරමි.

මෙහි කතා නායකයා, මීට වසර ගණනාවකට පෙර සංදර්ශනයක් සඳහා සිඞ්නි නුවරට පැමිණි විකට නළු ෆ්‍රෙඞී සිල්වා ය. ලංකාවේ සිට මෙහි පැමිණෙන කලාකරුවන් ට සිනුවර දසුන් පෙන්වීම සාමාන්‍යයෙන් කෙරෙන දෙයකි. මේ අනුව, ෆ්‍රෙඞී සිල්වා ව එක් දිනක් රැුගෙන ගියේ මා පෙර විස්තර කළ, තුන් සොහොයුරියන් නැරඹීමට ය. පැය එක හමාරක පමණ ගමණකින් පසුව පිරිස කටුම්බා නගරයේ තුන් සොහොයුරියන් නැරඹුම් ස්ථානයට සම්ප‍්‍රාප්ත වූහ.

"අන්න තියෙනව තී‍්‍ර සිස්ටර්ස් ලා!" මාර්ගෝපදේශක සිනුවර වැසියෙකු ෆ්‍රෙඞී ට පැවසීය.

ෆ්‍රෙඞී සිල්වා තුන් සොහොයුරියන් දෙස හෙළුවේ එක් බැල්මක් පමණි.

"අයියෝ!!! මේ ගල් කෑලි කන්ද බලන්නද මෙච්චර දුරක් ආවේ?" ඔහු ක්‍ෂණිකව විමසීය.

එය විකට නළුවෙකු කළ ගොරහැඩි සරදමකට වඩා සැබෑ අපේක්‍ෂා භංගත්වයක් නිරූපනය කළ අවස්ථාවක් යැයි මම සිතමි. ශී‍්‍ර ලංකාවේ දී ස්වභාවික සෞන්දර්්‍යයෙන් පිරි නොයෙකුත් මනරම් දර්ශන දැක ඇති ෆ්‍රෙඞී සිල්වා ට තුන් සොහොයුරියන් පෙනෙන්නට ඇත්තේ නව දැලි හේනක දැවුනු වැඳිරියන් ලෙසිනි!

නැවත හමුවෙමු.

Saturday, August 8, 2009

මෙල්බර්න් ද? සිඩ්නි ද?

සිරිලකේ සිට ඔසී රටට සංක‍්‍රමණය කරන්නට වරම් ලැබූ කාලයේ මා සතුව විකල්ප දෙකක් තිබුනි. එකක් මෙල්බර්නයට පැමිණීමය. දෙවැන්න සිනුවර ට පැමිණීමය. ප‍්‍රධාන නගරය වූ නිසා සිනුවරට හිත ඇදේ. මිතුරන් වැඩි පිරිසක් සිටි නිසා මෙල්බර්නයට සිත ඇදේ. කොහේ යන්නදැයි තීරණය කිරීම උභතයෝකෝටික ප‍්‍රශ්ණයක් විය.

දෙපොලම බලා කියා ගෙන නිසි තීරණයක් ගන්නට සහ ඊටත් වඩා සුතනඹුවන් ට වීසා වරම් ගන්නට මහ කොමසාරිස් කන්තෝරුව විසින් ඇති කරවන ලද අවශ්‍යතාවය නිසා මා ටික දිනකට යැයි සිතා මුලින් ම මෙල්බර්නයට ගොඩ බැස්සෙමි. නොසිතූ ලෙස කොන්තරාත්තුවක පැටලීම නිසා වාසනාවකට මෙන් මගේ මෙල්බර්නයේ වාසය සති කිහිපයක් දක්වා දිගු වූ අතර, එනිසා ම අවාසනාවකට මෙන් සිනුවර වාසය දින කිහිපයකට පමණක් සීමා විය.

කෙසේ වෙතත්, ටික දිනකට පසුව, පවුල් පන්සල් පිටින් මා සිරිලක සිට මෙල්බර්නයට සංක‍්‍රමණය වූයේ යහළු මිත‍්‍රාදීන් වැඩි සාන්ද්‍රණයක් එහි සිටි නිසා යැයි කීම නිවරදි වේ. එනිසාම, වසර හයක් මෙල්බර්නයේ වාසයෙන් පසු, සිනුවර බලා දේශීය වූ සංක‍්‍රමණයක් කිරීමට හිත හදා ගැනීම පෙර දිනක ක්‍ෂිතිජය තරණය කිරීමටත් වඩා අසීරු එකක් විය.

මා මෙල්බර්නයේ කාලය ගත කරන අතර, සිනුවර ගැන ද, සිනුවර වාසී සිංහලයන් ගැන ද ලැබුනේ එතරම් ප‍්‍රසාදය උපදවන ආරංචි නොවේ. සිනුවරු, අධික වූ නිවාස උගස් ණය බරින් පීඩිත බවත්, එනිසාම, මෙල්බර්නයේ සගයන් සමග දුරකතන බිල් ගෙවමින් සම්බන්ධතා පවත්වනවා තියා, සිනුවරුන් අතර වත් දැඩි මිතුදම්, සාද, පි‍්‍රය සම්භාෂණ නැති තරම් බවත් පතල වී තිබුනි. මෙල්බර්න් මිතුරන් පිරිසක් සිනුවර බැලීමට පැමිණි සඳ, පැරණි ප‍්‍රාණපි‍්‍රය සිනුවර මිතුරෙකු ඔවුන්ව අතේ පැලවෙන බොරු කියා ඔවුන්ව මග හැරීම, ඉහත කී සිනුවර සහ සිනුවරුන් පිළිබඳ අපේ ඌණ ප‍්‍රසාදය කිසිසේත්ම මගහරවන හේතුකාරකයක් නම් නොවීය.

කෙසේ වෙතත් දෛවෝපගතව මා අද සිනුවර වසමි. සිනුවර ට ඇළුම් කරමි. සිනුවර ට ම කඹුරමි. සිනුවරෙකු වී ඇත්තෙමි. සිනුවරෙන් අභිනිෂ්ක‍්‍රමණය කරන්නට හිතක් නැත්තෙමි.

අද එසේ වුවද, වසර හතකට ඉහත මෙල්බර්නයේ සිට සිනුවර බලා අභ්‍යන්තර සංක‍්‍රමණය කළ කාලයේ මගේ චෛතසිකය එසේ නොවීය.

මා සිනුවර වසන්නට ගිවිසුම් අත්සන් කර මෙහි ගොඩ බැස්සේ හරියටම 2001 නොවැම්බරයේ දී ය. මින් පෙර දෙවතාවක දින කිහිපයක් බැගින් විවේකය ගත කර තිබුනද, සිනුවර ගැන මා දැනුම අල්ප විය. එනිසාම, මුල් වරට සාප්පු ගිය දා මට රිය නැවතුමේ ස්ථානයක් සොයා ගැනීමට අඩ හෝරාවක් ගත වුනි. චැඞ්ස්ටනයේ සුවිසල් සාප්පු සංඛීර්ණයේ මා ලද අත්දැකීම් හිරු දුටු කදෝ පැණියෙකු සේ මිලානව ගියේය.

පසුදා සේවයට යාමට මගට බට මා පටු මාවත් වල සෙමින් ඇදෙන මෝටර් රථ ඕඝ දහරේ පැය ගණනක් පාවෙමින් ලතවෙන තවත් එක් මාතලී පුත‍්‍රයෙක් බවට පත් වීමී. පෙර දින මා නිදහස් මහා මාර්ගයේ නැගෙනහිර දෙස සිට එක පිම්මේ විත් මෙල්බර්නයේ රාජකීය මගේ පැය පහක් නොමිලයේ ම වාහනය ගාල් කල අයුරු සිහිනයක මතකයක් පමණක් විය.

මේ සුවිසල් සිනුවර මා එක් ක්‍ෂුද්‍ර ජීවියෙක් පමණක් බව මට සැනෙන් පසක් විය.

ඒ කෙසේ වෙතත්, සමහර විටක ඒ නිසාම, කල් යත්ම මා සිනුවරට ඇළුම් කරන්නට පටන් ගත්තෙමි. අධික උගස් ණය බර, මාර්ග තදබදය අද මට හොඳින් හුරුය. ස්කන්ධයෙන් හෝ වෙනත් මානයන්ගෙන් කෙසේ වෙතත්, අනුපාතයෙන් එක හා සමාන වූ හේතු නිසාම, කන්ද උඩරට මහනුවර සිට කොළොම් තොට ට පැමිණෙන්නෙකු ද මුලින් මෙවැනි අපේක්‍ෂා භංගත්වයකටත්, දෙවනුව මෙවැනිම වූ චෛතසික පරිවර්තනයකටත් පත්වෙන්නට හොඳටෝම ඉඩ ඇත.

පර්ත් ගම්මානයේ සිටින මිතුරෙකුට සිනුවර සිරි වනමින් මා ලියූ කවි පෙලක අවසාන කවෙන් අද මේ කොලම අවසන් කිරීම සුදුසුයැයි සිතමි.

නුවර පර්ත් සිට නුඹ දුක් විඳින්නේ
කවර පවින් දෝ මා නම් නොදන්නේ
පවර සිනුවරේ පුර සඳ දිලෙන්නේ
මිතුර පින් කරපු අයටය පෙනෙන්නේ

සිනුවර පිළිබඳ තවත් තොරතුරු රැුගත් ”සිනුවර හසුන” සමග නැවත හමුවෙමු.

සිනුවර ආරච්චිල
sinuwara.arachchila@gmail.com

Monday, July 27, 2009

ක්‍ෂිතිජය තරණය - Migration

තමන් ඉපදුණු රට අත හැර, ක්‍ෂිතිජය තරණය කොට, නුහුරු නුපුරුදු දේශයක අළුතින් ජීවිතයක් ගත කිරීමට ගන්නා වූ තීරණය ඉතා අසීරු, අවදානම් සහිත සහ එනිසාම ඉතාමත් එඩිතර වූ එකක් වේ.

ලිඛිත සහ පරම්පරාගත ඉතිහාසය අනුව සිංහල අපි සියළු දෙනා කෙදිනක හෝ ක්‍ෂිතිජය තරණය කළවුන් ට නෑකම් කියන්නෝ වෙමු. වසර දෙදහස් පන්සිය පනහකට පමණ පෙර දිනක සිදු වූවා යැයි සැලකෙන විජයාගමනයෙන් සහ ඉන් පෙර හා පසු මෑත අතීතය දක්වා ම විවිධ කාල වකවානුවල, විවිධාකාරයෙන් ක්‍ෂිතිජය තරණය කළ අපේ මුතුන් මිත්තන්ගෙන් පැවතෙන පිරිසෙන් අද සිංහල යැයි හැඳින්වෙන අප ජන කොටස සෑදී ඇත.

සිංහල බස දොඩන්නෝ, සිංහල බස ලියන්නෝ, සිංහල බස අසන්නෝ, සිංහල බසෙන් සන්නිවේදනය කරන්නෝ, සිංහල සංස්කෘතියේ හරය මත තම ජීවිතය ගෙවන්නෝ සිංහලයෝ වෙති.

විවිධ කාල වකවානුවල ක්‍ෂිතිජය තරණය කර ලක්දිවට පැමිණියෝ මේ ආකාරයේ අනුවර්තනයකින් සිංහලයන් වූ බව නොරහසකි.

මෙලෙසින්ම ක්‍ෂිතිජය තරණය කිරීමේ තීරණය ගෙන අද ඕස්ටේ‍්‍රලියාවේ විවිධ නගරවල ජීවත්වෙන බාල, තරුණ, වැඩිහිටි සිංහල පිරිස බොහෝ ය. මෙය එක් දිනයකින් ඇතිවූ තත්වයක් නොවේ. දශක දෙකක පමණ කාලයක් තිස්සේ පැවති සංක‍්‍රමණ කි‍්‍රයාදාමයක ප‍්‍රතිඵලයකි.

ක‍්‍රම ක‍්‍රමයෙන් සිංහල පිරිස වැඩිවී අද මෙල්බර්න් සහ සිඞ්නි වැනි නගර වල ලාංකික කඩ හරහා, ලාංකික බොදුන් හල් හරහා, සිංහල බුද්ධාගමේ පන්සල් හරහා, සන්නස වැනි පුවත්පත් හරහා, සති අන්තවල පැවැත්වෙන කලා සංදර්ශන දර්ශන හරහා, සිංහල උප සංස්කෘතියක් ඇතිවෙමින් පවතී.

මගේ මුල් සටහනේ මා සඳහන් කළාක් මෙන් අද සිනුවර නිරතුරුවම සිංහල කලා කටයුතු සිදු කෙරේ. නමුත් මින් දශක දෙකකට පමණ පෙර කාලය මෙයට හාත්පසින්ම වෙනස් එකක්ව තිබී ඇත.

සිනුවර වෙසෙන වියතෙකු වන ආචාර්ය දොන් උබයසිරි වික‍්‍රම වරෙක ලියා සඳහන් කළ පරිදි 1990 පමණ වූ මෑත කාලය ද සිංහලයන් දෙදෙනෙක් අතරමග දී හමු වූ විටෙක සිංහලෙන් එකිනෙකා ඇමතීම මදිකමක් යයි සිතූ සමයෙක් විය. මෙල්බර්න් නුවරට පැමිණෙන වික්ටර් රත්නායක ගේ "ස" ප‍්‍රසංගය සිනුවර සංවිධානය කිරීමට හැකිකමක් සහ අවශ්‍යතාවයක් තිබූ සිංහල සංවිධානයක් එවකට මෙහි නාමිකව හෝ නොතිබුනි. මේ අඩුව පුරවා ගෙන සිනුවරට ශ‍්‍රීි ලංකාවෙන් පැමිණ සිටි සිංහල සම්භවයකින් යුත් අපේ අයට අපේකම යන සංකල්පය හඳුන්වා දී, ඔවුන් තුල එය පෝෂණය කොට වර්ධනය කිරීමේ අවංක චේතනාවෙන්, සිංහල සංස්කෘතික සාරධර්මයනට හිතැති පිරිසක් එකතුව 1990 දී සිංහල සංස්කෘතික හමුව පිහිටවූහ.
සිංහල සංස්කෘතික හමුවේ ආරම්භක සභාපතිවරයා වූ යේ පසුකලෙක අන්තර්ජාතික සම්මාන ලබා කීර්තියට පත් සිනමාකරු සෝමරත්න දිසානායකය.

විවිධත්වය තුල ඒකීයත්වය (යුනිටි ඉන්ඩයිවර්සිටි) යන ඕස්ටෙ‍්‍රලියානු බහු සංස්කෘතික සංකල්පයට අනුව යමින්, නිව් සවුත් වේල්සයේ ජීවත්වන, සිංහල සම්භවයකින් යුතු හෝ සිංහල හැදියාව අගයන හෝ බාල-යොවුන්-තරුණ-වැඩිහිටි පරපුරට සිංහල සංස්කෘතික ලක්ෂණ හඳුන්වාදීමට විවිධ වැඩ සටහන් සංවිධානය කොට, අප ප‍්‍රජාවේ පිරිස අතර අපේකම අවදිකරලීමට සිංහල සංස්කෘතික හමුව ප‍්‍රතිඥා දී ඇප කැප වූහ.

සිංහල භාෂා පාසැල් පවත්වමින්, සිංහල සංස්කෘතික සංදර්ශන වේදිකා ගත කරමින්, සිංහල සාහිත්‍යමය නිර්මාණ එළි දක්වමින්, සිංහල සංස්කෘතික හමුව අද ද එම කාර්ය භාරය කරගෙන යති.

පසුගිය 2008 සැප්තැම්බර් මාසය තුල සෝමරත්න දිසානායක ගේ ”සිරි රජ සිරි” සිනමා සිත්තමත්, සංස්කෘතික හමුවේ ජීව නාලිය වන සිංහල පාසැල් සිසු දරු දැරියන් ගේ ද්වි වාර්ෂික ”මල් කැකුළු” විවිධ ප‍්‍රසංගයත් නැරඹීමට ලැබීම සිනුවර ආරච්චිල ලැබූ නෙත් තෙත් කරවන අත්දැකීම් දෙකක් විය.

සුන්දර රිවි දිනයේ, පින්බර හිමිදිරියේ සිංහල උගෙනට පැරමටා, මින්ටෝ සහ බ්ලැක්ටවුන් සිංහල පාසැල් වෙතට යන අපේ පෙම්බර දූ දරුවන් උදෑසන පිපුණු මල් කැකුළු වැනිය. මාපිය සිත් සනසමින්, ගුරු උපදෙස් පිළිපදිමින්, ඔව්හු සිංහල බස ලියති. සිංහල බස දොඩති. සිංහල බස උගනිති. සිංහල කම රකිති.

ඒ පිපුණු මල් කැකුළු සුවඳ දසත විහිදේවා!

සිනුවර තොරතුරු රැුගත් ”සිනුවර හසුන” සමග නැවත හමුවෙමු.

Wednesday, July 22, 2009

සිඩ්නි සිට ලියමි

සිඩ්නි නුවර ඕස්ටේ‍්‍රලියාවේ පැරණිම නගරය මෙන්ම, ප‍්‍රමාණයෙන් විශාලතම, වැඩිම ජනගහනයක් වෙසෙන සහ වඩාත්ම වියදම්කාරී නගරය ද වේ. දැනට සාර්ථක අටවෙනි වසරේ සිඞ්නි තදාසන්නයේ වාසය කරන මට, මේ සුවිසල් නගරය හා ඇති එක ප‍්‍රශ්ණයක් නම් සිඞ්නි යන නාමය කවි පදයක යෙදිය හැකි ආකාරයේ මටසිළුටු එකක් නොවීමයි. එලිවැට සඳහා සිඩ්නි නාමය යොදා ගැනීම නම් හුදෙක් සිහිනයක් ම පමණි. මේ ප‍්‍රශ්ණයට සාර්ථක විසඳුමක් ලබා දුන්නේ ඕස්ටේ‍්‍රලියාවේ සිට ශී‍්‍ර ලංකාවට සමනලයෙකු මගින් යැවෙන සංදේශ කාව්‍යයක් ”සමනල දූතය” නමින් රචනා කළ සිඩ්නි වාසී හෙන්රි කුමාරප්පෙරුම කවියා ය. ඔහු සිඩ්නි නුවර සිනුවර නමින් සිය පද්‍ය නිර්මාණයන් හි දී හඳුන්වයි. මගේ මේ ගද්‍ය තීරු ලිපිය සඳහා ද ඒ නම යොදා ගැනීමට මම අදහස් කරමි.

මෙල්බර්න් හා සසඳන විට සිනුවර සිටින්නේ තරමක් ප‍්‍රමාණාත්මකව අඩු සිංහල ජන කොටසකි. ලංකාවේ සිට ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය කරන අති මහත් බහුතර ජනතාව අනිවාර්්‍යයෙන් ම පැමිණෙන්නේ කවුරුන් හෝ තමන් දන්නා අඳුනන කෙනෙක් සිටින නගරයට නිසා දිගින් දිගටම මේ ජනගහන පරතරය වැඩි වෙයි. මේ න්‍යාය අනුගමනය නොකළ අය මා දන්නේ දෙදෙනෙකු පමණි. මින් පලමුවැන්නා ලංකාවේ දී අඩුම සංක‍්‍රමණිකයින් ප‍්‍රමාණයක් පැමිණෙන නගරය සොයා බලා හෝබාර්ට් නගරයට සංක‍්‍රමණය කළේ එම ආර්ථික අවගමන සමයේ රැුකියාවක් සොයා ගැනීම පහසු වෙතැයි සිතාය. වසර කිහිපයකට පසුව ඔහු ආපසු ලංකාවට ගියේය. දෙවැන්නා සංක‍්‍රමණිකයින් ට සති හතරක් නොමිලයේ නිවාස සහ වෙනත් පහසුකම් දෙන බව අසා ඇඩිලේඞ් නුවරට සම්ප‍්‍රාප්ත විය. ඔහු දැන් සිය පවුල ද සමග සිනුවර වසයි.

මෙල්බර්න් නුවර සිංහල ජනගහනය වැඩිවීමත් සමගම, එය ක‍්‍රම ක‍්‍රමයෙන් ඕස්ටේ‍්‍රලියානු සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනු පසුගිය වසර හත තුල දී මම දුටුවෙමි. සන්නස වැනි මාසික පුවත් සඟරා මෙල්බර්න් හි ප‍්‍රකාශනය වේ. සිනමා සිත්තම්, වේදිකා නාට්‍ය, නර්තන, රංගන ප‍්‍රසංග මෙල්බර්න් හි නිපදවේ. අද සිංහල සිනමා සිත්තමක් සිනුවර එක් දර්ශනයක් පැවැත්වෙන විට, එය මෙල්බර්න් හි තුන් හතර වරක් දර්ශනය කිරීම සාමාන්‍ය සිදුවීමකි.

කරුණු එසේ වූවද, සිනුවර වසන අප සිටින්නේ ද වැඩි පසුපසින් නොවේ.

මෙහි ප‍්‍රමුඛ සිංහල සංස්කෘතික සංවිධානය වන සිංහල සංස්කෘතික හමුව පිහිටුවා දැන් වසර දහ අටකි. ඔවුන් ප‍්‍රකාශනය කරන ත්‍රෛමාසික සිංහල සාහිත්‍ය සඟරාවට දැන් වසර අටක් පිරී ඇත.

මීට අමතරව සිනුවර ද සිනමා සිත්තම්, නාට්‍ය සහ නර්තන රංගන යනාදිය නිපදවේ. පසුගිය 2008 අගෝස්තු මාසයේ දී සිනුවර වෙසන නාට්‍යකරු චම්ප බුද්ධිපාල ගේ දැවැන්ත නිර්මාණයක් වූ දස්කොන් වේදිකා නාට්‍යය ශී‍්‍ර ලංකාවේ සිට පැමිණි නළු නිලියන් ගේ ද, සිනුවර නළු නිලියන් සහ නර්තන ශිල්පීන්ගේ ද දායකත්වයෙන් වේදිකාගත විය. ශී‍්‍ර ලංකාවේ දී මනමේ ඇතුළු සම්භාව්‍ය වේදිකා නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් සහ ගායනයෙන් දායක වී ඇති චම්ප බුද්ධිපාල මීට පෙර 2003 දී කි‍්‍රෂ්ණා වේදිකා නාට්‍යය ලියා නිෂ්පාදනය කළේ ද සිනුවර දී ය.

ජූනි (2009) මාසයේ මෙහි රඟ දැක්වුනේ නිමල් රෝහිත වණිගසිංහ ලියා අධ්‍යක්‍ෂණය කළ ප‍්‍රතිමාවක් හෙලූ කඳුලක් වේදිකා නාට්‍යයයි. ශී‍්‍ර ලංකාවේ දී සම්මාන පෝලිම සහ ලූ වැනි වේදිකා නාට්‍ය ලියා අධ්‍යක්‍ෂණය කළ නිමල් 2006 දී පිනා සහ වලං කද ගීතමය නාට්‍යය සිනුවර දී නිපදවීය.

සිනුවර වෙසෙන ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂකවරුන් දෙදෙනෙකි. සිසිල් ෆොන්සේකා නිෂ්පාදනය කළ එතෙර බැඳි සෙනෙහස (2005) සහ පරම්පරා (2008) ටෙලි වෘත්තාන්ත ලංකාවේ ඉතා ජනපි‍්‍රය විය. එසේ ම ජනපි‍්‍රය වූ නොපෙනෙන අනන්තය (2006) චාලක ජයසිංහ ගේ ප‍්‍රථම ටෙලි නාටකයයි. චාලක ගේ දෙවන නිර්මාණය ද මේ දිනවල ප‍්‍රදර්ශණයට සැරසෙන බව සැලයි.

ලේඛණ කලාව අතින් සිනුවර පොබයන ගත්කරුවෝ කිහිප දෙනෙකි. සමන් මහානාම දිසානායක ඒ අතරින් ප‍්‍රමුඛයාය. ඔහු බඹරැුන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, රන්දෙණිගල වලව්ව, දුරුතු සිහින, පුංචි සර් සහ ලන්සි කෙල්ල නමින් නවකතා කිහිපයක් ම ලියා ඇත.

ලේඛකයෙකු මෙන්ම කවියෙකු ද වන පාලිත ගනේවත්ත, ඇසි පිය සහ බොඳවූ සිතුවිලි කාව්‍ය සංග‍්‍රහ ද, ලේ හුරු සුවඳ කෙටිකතා සංග‍්‍රහය ද, ඇවිත් නොරටක නවකතාව ද, ඇන්ටන් චෙකෝෆ් ගේ කෙටිකතා පරිවර්තන එකතුවක් ද ප‍්‍රකාශයට පත්කර ඇත.

සිනුවර රස තොරතුරු රැගත් – සිනුවර හසුන – සමග නැවත හමුවෙමු.

සිනුවර හසුන – From Sydney I Write

සිනුවර හසුන – From Sydney I Write

දකුණු කුරු දිවයින හෙවත් ඔසී රට, සිනුවර හෙවත් සිඩ්නි පුරයේ වෙසෙමි.

සිනුවර හසුන තුලින් සිඩ්නි තොරතුරු ඔබට ගෙනෙන්නට අදහස් කරමි.

ඊ-මේල් එකක් එවන්නඃ sinuwara.arachchila@gmail.com